Saturday, January 1, 2011
Thursday, November 18, 2010
සිරිතුඩු ඇල්ල (වීඩියෝ)
කිරිමැටිය කන්දේ සිට නුගලියද්ද, බූටාවත්ත, දූල්මුරේ, කපුලියද්ද හරහා කිවුල්ළිද ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයට එක්වන බූටාවත්ත ඔය දූල්මුරේ ගම මැදදී මවන මනස්කාන්ත දසුනකි මෙම සිරිතුඩු ඇල්ල.
පෙර ලිපිය බලන්න >>
Thursday, October 21, 2010
සගම රජමහ විහාරය
02 - විහාර ගෙය
සගම විහාර ගෙය නව විහාරයකින් සහ පැරණි විහාරයකින් යුක්තවේ.
පැරණි විහාරගෙය අයත්වනුයේ කුමන කාල වකවානුවකටදැයි නිශ්චිතව දැක්වීම අපහසුය. ගම්පොල යුගයේ අවසාන කාලයේ හෝ මහනුවර යුගයේ ආරම්භක අවධියේ ඉදිවන්නට ඇතැයි සිතීමට හැකිය. එයට හේතු ලෙස අපට හැගෙන පරිදි මෙහි දැව විනාශ වී ඇති ආකාරය චිත්‍රවල ස්වරූපය ආදිය හේතු සාධක ලෙස දැක්විය හැකි ය. මහනුවර යුගයේ පුරා විද්‍යා ස්ථානයක් ලෙස සගම හදුන්වනවාට වඩා අතීතයක් එයට ඇත. නමුත් පැරණි විහාර ගෙය එහි ස්වරූපය තුළින්ම මහනුවර යුගයේ මුල් යුගයේ යැයි හැගේ.
පැරණි විහාර ගෙය.
විහාර ගෘහයේ සිවිලිම (වියන) මේවනවිට දැඩි ලෙස අබලන්ව පවතින අතර එබැවින් එහි වියන් චිත්‍රවලට පවා දැඩි ලෙස හානි වී පවතී.මෙහි ඇති චිත්‍ර කුමන කාලයකදී කවර චිත්‍ර පරම්පරාවක විසින් කළේදැයි නිවැරදි මුලාශ්‍රයක් සොයා ගැනීමට නැත. එනමුත් අපගේ පුද්ගලික හැගීම අනුව සගම චිත්‍ර පසු කාළීණ දෙගල්දොරුව වැනි දියුණු චිත්‍රකර්මවලට පදනම් වීදැයි සිතෙයි.
වියන් චිත්‍ර
පොළොන්නරු යුගයෙන් පසු ලාංකීය චිත්‍ර කලාව පිළිබදව නැවත නිශ්චිත තොරතුරු ලැබෙනුයේ මහනුවර යුගයේ ආරම්භයත් සමගයි. මහනුවර චිත්‍ර කර්මාන්තයේ කීර්ති ශ්‍රී රාජසිංහ යුගය තුළදී ඇතිවූ පුණර්ජීවණයේ දෙගල්දොරුව සුවිශේෂි ස්ථානයකි. එම සිතුවම් උදෙසා යම් ආභාෂයක් දෙවරගම්පල සිල්වත්තැන වැනි සිත්තරුන්ට සගම චිත්‍ර තුළින් ලැබුණිදැයි විටක අපට සිතෙයි.
සගම විහාරයේ චිත්‍ර
සගම චිත්‍ර ශිල්පියාගේ සිතුවම් අවම වර්ණ භාවිතයකින් (කහ, රතු, සුදු) සිදුකර ඇත. පසු කාලීන විහාර චිත්‍රයන් උදෙසා භාවිතා කරන අලුවන් කොළ, නිල් ආදී වර්ණ භාවිතා කර නැත. එමෙන්ම මෙම සිතුවම් මහනුවර යුගයේ වෙනත් විහාර කර්මාන්තයක නොමැති තරම් ප්‍රාථමික ශිල්පීය ලක්ෂණ පෙන්වයි. එමෙන්ම සමකාලීන (දෙගල්දොරුව, හිදගල, සූරියගොඩ) වැනි තැන් සමග සසදනවවිට දුර්වර්ණ බව නැතිනම් ක්ෂය වී යන ආකාරයද සුවිශේෂ අවධානයකට ගත යුතුවෙයි. එමෙන්ම මෙම චිත්‍ර තුළ නිරූපිත වෙස්සන්තර ජාතකය වැනි කතා අවස්ථාවන් දෙගල්දොරුව ඈ තැන්හී එක ලෙස භාවිතා කිරීමද යම් ආභාශයක් වී දැයි විමසීමට හේතු වේ.
උක්ත සගම චිත්‍ර තුළ ඇති “ඇලි ඇතා දන් දුන් වගයි”, “ඇලි ඇතා දන් ඉල්ළු වගයි” චිත්‍ර සහ මිනිස් ඉරියව් දෙගල්දොරුව චිත්‍ර හා සැසැදීමද සිදු කළ යුතුය. එහිදී අප ඉදිරිපත් කරන කරුණ පැහැදිලිවනු ඇත.
දෙගල්දොරුව විහාරයේ උක්ත අවස්ථාව පහත පරිදිය
දෙගල්දොරුව රජමහා විහාරස්ථානය මහනුවර ලේවැල්ල ආසන්නයේ පිහිටා ඇත. කුණ්ඩසාලය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්ය.
Tuesday, October 19, 2010
සගම රජමහ විහාරය
01 - සගම බෝධිය
මහනුවර යුගයේ ප්‍රචලිත අධ්‍යාපන ග්‍රන්ථයක් වූ විහාර අස්න හෙවත් නම් පොතෙහි ප්‍රථමයෙන් ඇති පූජනීය ස්ථානය “සගම” යන්නයි. මෙම පුරාණ රජමහ විහාරස්ථානය අප මුලින් දක්වන ලද අතීත රුහුණු රටෙහි පිහිටි පුරාණතම විහාරස්ථානවලින් එකකැයි අපගේ හැගීමයි. හුදෙක් එහි පිහිටා ඇති බෝධි වෘක්ෂය දේවානම් පියතිස්ස යුගයෙහි රෝපණය කරන ලද අෂ්ඨඵළ බෝධි වෘක්ෂයක් බවට ඇති පිළිගැනීම මෙම විහාරස්ථානයේ ඓතිහාසික බවට ඇති ප්‍රධාන සාක්ෂියකි. චන්දන ග්‍රාම හෙවත් සදුන්ගම මෙම අෂ්ඨඵළ බෝධි රෝපණයක් කළ බව බෝධි වංශයට අනුව සදහන්වන අතර මෙම සදුන්ගම වත්මන් සගම බව පොදු පිළිගැනීම වේ.
සගම බෝධිය වත්මන් ස්වරූපය
මෙම බෝධින් වහන්සේ වටා ඇති බෝධි ප්‍රාකාරය වත්මන් 2010 වර්ෂයේ මැද භාගයේ පුරා විද්‍යා ප්‍රතිස්ථාපනයකට ලක් කරන ලදී. එම බෝධි ප්‍රාකාරය බෝධීන් වහන්සේ වටා එක්දහස් නවසිය විසි ගණන්වලදී ඉදිකරන ලද්දක් බව එහි එක් ගලක සදහන් වේ. මෙම තහවුරු කිරීමේදී එකී බෝධි බැම්මෙහි තහවුරුකළ යුතු තැන් ගලවා නැවත සකස් කිරීමේ කටයුතු සිදුකළ අතර බැම්ම ඇතුළත පුරවා තිබූ පස් අතර තිබී පැරණි ගඩොල් කොටස් හමුවිය. මේ මුලින් සදහන් කළ කාලයේ (1920 ගණන්වල) නව බෝධි ප්‍රාකාරය ඉදිකරනවිට පැවති පැරණි බැම්මේ ගඩොල් බව හදුනා ගැනීම අපහසු නොවේ. එම ගඩොල් පුරාණ අනුරාධපුර යුගයේ ගඩොල්වලට බොහෝ සමානකම් සහිතව පැවති බව තහවුරු කිරීම් සිදුකළ පුරා විද්‍යා නිළධාරින්ගේ ද නිගමනය විය.
තහවුරු කිරීම් සිදුවෙමින්
නමුත් අප දන්නා තරමින් ප්‍රමාණවත් අධ්‍යනයක් ඒ සම්බන්ධයෙන් සිදු නොවිණ. අප විසින් නැවත බෝධි ප්‍රාකාරය තුළට දැමීමට පෙර එම ගඩොල්වල ඡායාරූප ලබා ගත් අතර ඒවා පහත දැක්වේ.
උක්ත ගඩොල් සැබවින්ම අනුරාධපුර යුගයේ නම් මෙම බෝධින් වහන්සේ රෝපණය කළ කාල වකවානුව පිළිබද ඇති ඓතිහාසික තොරතුරු තහවුරු කිරීමට එය තවත් සාක්ෂියක් වනු ඇත. මේ පිළිබදව විද්වත් අධ්‍යනයකට වගකීම් සහිත ආයතනයක් යොමුවීම අත්‍යාවශ්‍ය බව අපගේ හැගීම වේ.
(මහනුවර සිට අම්පිටිය තලාතුඔය පසුකර බූටාවත්ත ද්විතික කණිෂ්ඨ විද්‍යාලය අසලින් බව්ලාන මාර්ගයේ ගියවිට ගොඩමුන්න ගම ආසන්නයේදී සගම රජමහා විහාරයට යන මාවත හමුවේ.)
Friday, September 3, 2010
සිරි තුඩු ඇල්ල (දූල්මුරේ)
කිරිමැටිය කන්දේ සිට නුගලියද්ද, බූටාවත්ත, දූල්මුරේ, කපුලියද්ද හරහා කිවුල්ළිද ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයට එක්වන බූටාවත්ත ඔය දූල්මුරේ ගම මැදදී මවන මනස්කාන්ත දසුනකි මෙම සිරිතුඩු ඇල්ල. මෙහි උස අඩි 60-80 අතර පවතී.
නැරඹීම සදහා තලාතුඔය-මාරස්සන මාර්ගයෙන් බූටාවත්ත විද්‍යාලය පසුකර හමුවන දූල්මුරේ ගම මැදින් දකුණට හැරී සිරිතුඩුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය දක්වා යා යුතුය. එම විහාරස්ථානය අසල මෙම ඇල්ල පිහිටා තිබේ. හොදින් වර්ෂා ජලයෙන් බූටාවත්ත ඔය පිරී ඇති කාලයේ දී පමණක් මෙම දසුන දැකගත හැකිය. මහනුවර සිට දුර සැතපුම් අටකි.
Thursday, September 2, 2010
කන්දේවෙල අම්බලම
හෙල්මළු වගාව යන්න උඩ රට වී ගොවිතැන හැදින්වීම උදෙසා උගතුන් නිර්මාණය කළ පාරිභාෂික වචනයයි. මෙම අම්බලම පිහිටි ඉසව්වේ ගමෙහි නම දෙස විමසිල්ලෙන් බලන්න. කන්ද සහ වෙල සිංහල භාෂාවේ නිෂ්පන්න වචන තුළින් මතු වූ මෙම ග්‍රාම නාමය කෙතරම් මට සිළිටිදැයි විනිශ්චය කරන්න. වචනයේ අර්ථයෙන්ම කදු යායක පිහිටි වෙල්යාය නිසා මෙම ගමට පැරැන්නන් වැහැරූ ග්‍රාම නාමය අර්ථවත් එකක් බව මෙම පෙදෙස දකින කවරකු වුව සාක්ෂි දරනු ඇත.

කන්දේවෙල අම්බලමේ කැටයම්
කන්දේවෙල ගමෙහි පිහිටි මෙම පැරණි ලී අම්බලම බොහෝ නෙත්වලින් වසන්ව පවතින ස්ථානයකි. එය නැරඹීම සදහා මාරස්සන පාරේ අප්පල්ලාගොඩ ගල් අම්බලම අසලින් කන්දේවෙල පාරේ කිලෝ මීටර 1.5 ක පමණ දුරක් ගොස් කන්දේවෙල විදුහල අසල ඇති පැරණි විහාරස්ථානය අසලට යා යුතුය.එම ස්ථානයේ වම් පසින් ඇති කඩය අසළින් පහතට බැස කුඹුරු යාය ඉහළින් කෘෂි ඇළ මතින් තවත් මීටර් 500 ක් පමණ දුරක් යා යුතු වෙයි. මෙම අම්බලම ඉතාමත් ජරාවාසව පැවති අතර 2005 ආසන්න කාලයේ පුරා විද්‍යා තහවුරු කිරීමට ලක්ව ඇත. පැරණි උළු ඉවත් කර අළුත් උළු යෙදීම සහ දිරා ගිය දැව වෙනුවට නව දැව යෙදීමද සිදුකර ඇත.
Sunday, August 29, 2010
මහවැලි ගං දෑල
Subscribe to:
Posts (Atom)


















