Tuesday, March 8, 2011

පනන්වල ගල් ලෙනේ පන්සල

උඩ රට සිංහල ගැමියාගේ පැවති අල්පේච්ඡ ජීවණ රටාව පිළිබදව තවත් එක් ගරා වැටෙන නිදර්ශකයකි පනන්වල ගල් ලෙනේ පන්සල. ස්ථානයේ ආරම්භය සහ පැවැත්ම පිළිබද දීර්ඝ කාලීන ‍සාධක නැති වුවද මෙම ස්ථානය ආශ්‍රිතව ඇති සෙල් ලිපියකින් එහි අතීතය වසර එකසිය පනහකට එපිටින් කාලයක් දක්වා විකාශනයවන බව නිහඩව කියා පායි. අදටද සුරැකිව පවත්නා බෝධි ප්‍රාකාරයෙහි ‍ඇති එම සෙල් ලිපිය තුළ ශ්‍රී බුද්ධ වර්ෂ 2458 6 8 පනන්වල ග්‍රාම වාසින් විසින් ගරු සෝමානන්ද නම් ස්වාමීන් වහන්සේ කෙනෙකු වෙනුවෙන් පුජාකරන ලද බවක් කියවෙයි.



සෙල් ලිපිය


චෙත්‍යය


ඇතුල්ගම සහ පනන්වල යන හෙල්මළු කුඹුරු යායක් මැදි කරගත් මනරම් භූමි භාගයක තම අධ්‍යාත්මික සුවතාවය වෙනුවෙන්  කුඩා භූමියක් වෙන් කර ගත් අපගේ මෙම පැරැන්නෝ ඒ තුළින් විදි අධ්‍යාත්මික සැනසීම මෙතැනට යොමු වන වර්ථමානිකයකුට වුවද අවබෝධ  කර ගැනීම අපහසු නොවේ. ස්වාභාවික ගල් කුට්ටියක් මත ඉදිකර ඇති ඉතා කුඩා චෛත්‍ය අර්ථවත් කරන්නේ බුද්ධ ශාරිරික ධාතූන් හී අපරිමිත වන්දණීයත්වයයි. ස්ථානයේ ඉහළින්ම මෙම චෛත්‍ය පිහිටුවීමට කටයුතු කර ඇති අයුරින් පිළිඹිඹුවන්නේ ඒ වෙනුවෙන් පැවති අපමන භක්තිය නොවේද?


ගලක් මත රෝපණය වී ඇති බෝධියක්

ඊට පහතින් කිසිවකුගේ අවධානයට හසු නොවී විනාශයට පත්වන සංඝාවාසයේ යැ යි සිතිය හැකි ගරා වැටුනු බිත්තිය වුවද භික්ෂු සංඝයා කෙරෙහි ගැමියන් තුළ පැවති සිව්පසය හා බැඳුනු නිරන්තර චර්යාවන්ට දෙස් දෙයි.




ගරා වැටුනු සංඝාවාසයෙහි බිත්ති

මෑත (වසර 25ක පමණ) කාලයේ මෙම ස්ථානය බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක විසින් පරිහරනය කරන ලද බවක්ද ඒ වනවිට ඉතා හොදින් පැවති නමුත් අදවන විට ගරා වැටී ඇති ස්වභාවික ගල් පියස්ස එතුමන් සිය ආවාසය ලෙස පරිහරණය කළ බවක්ද ප්‍රදේශවාසීන් පවසයි.



ගරා වැටුනු ගල් පියස්ස

උඩරට සිංහල ගැමි බොදුනුවන් තුළ පැවති අල්පේච්ඡ ජීවණ රටාවට තවත් එක් ප්‍රබල සාක්ෂියක් වන මෙම පනන්වල ගල් ලෙනේ පන්සල අදවන විට ඇතුල්ගම උතුර ග්‍රාම නිළධාරි වසමට අයත් වෙයි.

Sunday, January 23, 2011

උඩුදෙණිය වෙල්යාය

මාරස්සන කොළඹිස්ස මාර්ගයේ බෝපිටිය රාජසිංහ ජාතික පාසැල ආසන්නයේදී දැකගත හැකි දර්ශනයකි. උඩුදෙණිය වෙල්යාය දෙසින් පෙනෙන මෙම දසුන අතිශය චමත්කාරජනකය. ඓතිහාසික වශයෙන් ද ඉතාමත් වැදගත් පෙදෙසකි. උඩරට රාජධානි සමයේ බොහෝ ජීවමාන භෞතික තොරතුරු මෙම පෙදෙසෙහි තවමත් ශේෂව පවතී.


මෙම දර්ශනය පෙනෙන ඉසව්ව ආසන්නයේ මුරපොල නම් ස්ථානය පිහිටා තිබේ. එය අතීතයේ පැවති ප්‍රධාන ආරක්ෂක කපොල්ලකි.  ඉන් ඔබ්බෙහි පැවතියේ හගුරන්කෙත හෙවත් මහනුවර පශ්චිම භාගයේ පිහිටි දිගිලිය නුවරයි.


මෙම දර්ශනයේ ‍ඈතින් පෙනෙන්නේ හන්තාන කදුවැටියෙහි නැගෙනහිර ප්‍රදේශයයි. මෙම දර්ශනය ඡායාරූප ගත කර ඇති පෙදෙසෙහි සිට වත්මන් පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මුළු භූමි ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රදේශයක් දැක ගැනීමට හැකිය.

Wednesday, January 19, 2011

හේවාවිස්ස අම්බලම

පාතහේවාහැට පැරණි පුරා විද්‍යාත්මක ස්මාරක අතර සුවිශේෂ වූ තවත් ස්මාරකයක් ලෙස හේවාවිස්ස අම්බලම හැදින්වීමට හැකිය. 




අම්බලම් විෂයෙහිලා සිදුව ඇති විදග්ධ පැහැදිලි කිරීම්වලට හසුවූ ස්මාරකයන්ට වඩා යම් වෙනස් ස්වරූපයක එකක් ලෙස මෙම අම්බලම හදුන්වා දිය හැකිය. විශේෂයෙන්ම නිසි ආරක්ෂාවක් නොමැතිව වුවද මේ වනවිටද තර්ජිතව නමුත් නිරුපද්‍රිතව ඇති‍‍ මෙම අම්බලමේ විශේෂත්වය වන්නේ එය පාතහේවාහැටදී හදුනාගත හැකි ගොඩ නගන ලද කවාකාර කුළුණු මත තැනු එකම අම්බලම වීමයි. එමෙන්ම එහි පරිවාර කණු අටක් පමණ දැවයෙන් සකස්කොට වහලයට ආධාරකයක්වන සේ නිර්මාණය කර තිබේ.


ගොඩනගන ලද කවාකාර කුළුණු මත්තෙහි දැවයෙන් කළ සැකිල්ලෙහි වහලය රදවා තිබේ. මින් පෙර දක්වන ලද ගොඩමුන්න සහ කන්දේවෙල අම්බලමෙහි මෙන් පේකඩ ලක්ෂණ මෙහි නොවූවද එම දැවයන් ද  සිත්ගන්නා පරිදි සිදු කිරීමට යම් ආකාරයකට කටයුතු කර තිබේ.  මෙය වූ කළී තත් කාලීණ සියළු නිර්මාණයන්වලටම අදාළ වන උඩරට කලා ශිල්පවලට  අනුගතව ඉදිකිරීමට ගත් උත්සහය අනුව යන්නකි. 


මෙම අම්බලම අසළ ඉදිකොට ඇති පැරණි ගල් ඒ දණ්ඩ ද පෞරාණික වටිනාකමින් යුතු එකකි. අම්බලම් මාවත් අසළම ඉදි කිරීම සිරිත විය. එනයින් බලන විට මෙම කුඩා ගල් ඒ දණ්ඩ මගින් මෙම පැරණි මාවත භාවිත කළ අයට වූ සේවය අතිමහත් වන්නට ඇත. එය පසකට වන සේ අද නව කොන්ක්‍රීට් ඒ දණ්ඩක් ද (පාලමක්) ඉදිකර ඇත. 



ඒ අසළ ඇති බෝධි වෘක්ෂය ද  අනාදිමත් කාලයක පටන් පවතින්නක් වෙයි. මෙම බෝධි වෘක්ෂයේ වර්ධනයේ පවතිත සීමාසහිත බව එහි විශේෂත්වයක් ලෙස මෙම ප්‍රදේශයේ තතු දත් අය විසින් දක්වයි.

මහනුවර සිට මාරස්සන පස්ගම මාර්ගයේ ගියවිට හේවාවිස්ස විද්‍යාලයේ ක්‍රීඩාපිටිය අසළින් ඇති මාර්ගයේ (වික්‍රමසිංහ මාවත)කිලෝ මීටර 2ක් පමණ ගිය විට මෙම අම්බලම හමුවෙයි.