Sunday, August 29, 2010

ගොඩමුන්න අම්බලම


අම්බලම් පිළිබදව වැඩිදුර කරුණු අධ්‍යයනය කරනවිට අම්බලම්  වර්ගීකරනයක්ද පවතින බව හදුනාගත හැකිය. එනම්,

            1. මැටි අම්බලම්
            2. සිටු අම්බලම්
යනුවෙන්ය.මැටි අම්බලම් බොහෝවිට භාවිතා කළේ සාමාන්‍ය ජනයා විසින් ය. සිටු අම්බලම් ප‍්‍රභූන්ගේ භාවිතය උදෙසා විය. ගුනසේන විතාන විසින් රචිත අම්බලම් සාහිත්‍ය නම් කෘතියේදී මේ ගැන අදහස් දක්වන ඔහු සදහන් කර ඇත්තේ,

            උඩරට දෝළාවෙන් ගමන් ගිය රදළ ජනයා තමන් ඔසවාගෙන යනු ලබන සේවකයින් වෙහෙස නිවා ගන්නා තෙක් රැදී සිටීමට මේ සිටු අම්බලම් යොදා ගන්නට ඇත ලෙසයි.
            අප විසින් දක්වන අම්බලම්වල භාවිතා කර ඇති ගෘහ නිර්මාණ ශිල්පීය ලක්‍ෂණ දෙස බලන විට බොහෝ ඒවා සිටු අම්බලම් ලෙස හදුනාගත හැකිය. විශාරද මතයන් අනුව එකම අම්බලම තුළ පවතින වේදිකාවන් නිසා සමාජයේ විවිධ පන්තීන්ට, කුලයන්ට එය පරිහරනය කිරීමට හැකිවන අයුරින් නිර්මානය කර ඇත.
මහනුවර තලාතුඔය මාර්ගයේ මාරස්සන පාරෙන් ගියවිට බව්ලාන ගම දෙසට හැරෙන හන්දිය හමුවේ. එම මාවතේ සැතපුමක් පමණ ගියවිට මෙම ගොඩමුන්න අම්බලම හමුවේ.

                                                       ගොඩමුන්න අම්බලම

ගොඩමුන්න අම්බලම ඇතුළු අප අධ්‍යයනයට හසු කරන සියළුම අම්බලම්හි කාලය හදුනා ගැනීමේදී මෙම ගොඩමුන්න අම්බලම වටා ඇති ජන කතාවක් වැදගත් වේ. එනම් දන්ත ධාතූන් වහන්සේ හගුරන්කෙතට රැගෙන යන අවස්ථාවේ මෙම අම්බලමේ මොහොතක් තබා වැඩමවන ලදැයි කියන පුවතයි. එක්දහස් අටසිය ගණන් වල ඉංග‍්‍රීසින් සමග සටන් පැවති සමයේ මහනුවර වැඩ විසූ දන්ත ධාතූන් වහන්සේ හඟුරන්කෙත ආරක්ෂක ස්ථානයක් වෙත වැඩම කරන  අවස්ථාවේ දී දහවල් දානය වේලාව පැමිණියෙන් එම දහවල් දානය මෙම අම්බලමේ තබා දන්ත ධාතූන් වහන්සේට පිළිගැන් වූ බවම ජන ප්‍රවාදයෙහි වෙයි. එසේ දන්ත ධාතූන් වහන්සේ  දෙවරක්ම මෙම මාර්ගය ඔස්සේ ගෙන ගොස් ඇති බව  කියයි. එනම් ඉංග‍්‍රීසි හමුදාව උඩරට ආක‍්‍රමණය කළ අවස්ථාවේ කිතුල්පේ විහාරයටසේම 1818 දී කැප්පෙටිපොල නිළමේ දළදා වහන්සේ ආරක්ෂාව සදහා හුරන්කෙතටත්  වැඩම කරවූ අවස්ථාවන්ය. එසේම මේ ගමන් මෙම ගම මැදින් ගියේ යැයි අනුමාන කළ  හැකිය. මේ අනුව ගොඩමුන්නේ අම්බලමේ ඇති පෞරාණිකත්වය හදුනාගත හැකිය. ඉංග්‍රීසින් මෙම ප්‍රදේශයේ කවුරු බැද මෙම අම්බලම මස් මඩුවක් සේ භාවිත කර ඇති බවක් ද සදහන් වෙයි. අම්බලමේ කැටයම් විනාශවීමට එක් හේතුවකු වී ඇත්තේ ඒවායේ තැවරී තිබූ ලේ ඉවත් කිරීමේ දී සිදුවූ හානීය බවද ජනප්‍රවාදයේ වෙයි.
01
02
03
                    ගොඩමුන්න අම්බලමෙහි කැටයම්
ගොඩමුන්න අම්බලම පිළිබව තවත් සදහනක් පහත දැක්වේ.
‘ 17 වන සිය වසේ  ලන්දේසින්ගේ ප‍්‍රහාරය නිසා ගින්නෙන් දැවී ගිය හඟුරන්කෙත මාළිගාවෙහි දැවමය කණු මේ අම්බලම නිර්මාණයේදී ප‍්‍රයෝජනයට ගන්නා ලදැයි කියනු ලැබේ. ’ 
(කන්ද උඩරට මහනුවර - අනුරාධ සෙනවිරත්න - 158 පිටුව)

වාස්තු විද්‍යාත්මකව බලනවිට අනෙත් ලී අම්බලම් ද මෙයට සමාන බැවින් එම අම්බලම් ද එකම කාලයක ඉදිවන්නට ඇත.
ඉන් පසු වර්ෂ 1967 සිට වර්ෂ 1968 අතර කාලයේ දී මේ අම්බලම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තහවුරු කර ඇති අතර එහි දිරා ගිය දැව කොටස් ඉවත් කොට අලුත් දැව යොදා ඇත.

2 comments:

  1. නුවර පළාතේ මේ විදිහට අම්බලම් හුඟක් දැකගන්න පුලුවන්ද ? මම දැනගෙන හිටියේ ඇම්බැක්කේ දේවාල හරියේ අම්බලමක් තියෙනවා කියලා විතරයි

    ReplyDelete
  2. ඔව් Hasitha අම්බලම් ගොඩක් තවම තියෙනවා. මේ ගැන අධ්‍යයනය කරපු විද්වතුන්ට මගහැරුණු තැනුත් තියෙනවා. නමුත් මෑතදී සමහර ඒවා නැත්තටම නැතිවෙලා. උදාහරන ඉදිරිපත් කරන්නම්.

    ReplyDelete