Tuesday, March 8, 2011

පනන්වල ගල් ලෙනේ පන්සල

උඩ රට සිංහල ගැමියාගේ පැවති අල්පේච්ඡ ජීවණ රටාව පිළිබදව තවත් එක් ගරා වැටෙන නිදර්ශකයකි පනන්වල ගල් ලෙනේ පන්සල. ස්ථානයේ ආරම්භය සහ පැවැත්ම පිළිබද දීර්ඝ කාලීන ‍සාධක නැති වුවද මෙම ස්ථානය ආශ්‍රිතව ඇති සෙල් ලිපියකින් එහි අතීතය වසර එකසිය පනහකට එපිටින් කාලයක් දක්වා විකාශනයවන බව නිහඩව කියා පායි. අදටද සුරැකිව පවත්නා බෝධි ප්‍රාකාරයෙහි ‍ඇති එම සෙල් ලිපිය තුළ ශ්‍රී බුද්ධ වර්ෂ 2458 6 8 පනන්වල ග්‍රාම වාසින් විසින් ගරු සෝමානන්ද නම් ස්වාමීන් වහන්සේ කෙනෙකු වෙනුවෙන් පුජාකරන ලද බවක් කියවෙයි.



සෙල් ලිපිය


චෙත්‍යය


ඇතුල්ගම සහ පනන්වල යන හෙල්මළු කුඹුරු යායක් මැදි කරගත් මනරම් භූමි භාගයක තම අධ්‍යාත්මික සුවතාවය වෙනුවෙන්  කුඩා භූමියක් වෙන් කර ගත් අපගේ මෙම පැරැන්නෝ ඒ තුළින් විදි අධ්‍යාත්මික සැනසීම මෙතැනට යොමු වන වර්ථමානිකයකුට වුවද අවබෝධ  කර ගැනීම අපහසු නොවේ. ස්වාභාවික ගල් කුට්ටියක් මත ඉදිකර ඇති ඉතා කුඩා චෛත්‍ය අර්ථවත් කරන්නේ බුද්ධ ශාරිරික ධාතූන් හී අපරිමිත වන්දණීයත්වයයි. ස්ථානයේ ඉහළින්ම මෙම චෛත්‍ය පිහිටුවීමට කටයුතු කර ඇති අයුරින් පිළිඹිඹුවන්නේ ඒ වෙනුවෙන් පැවති අපමන භක්තිය නොවේද?


ගලක් මත රෝපණය වී ඇති බෝධියක්

ඊට පහතින් කිසිවකුගේ අවධානයට හසු නොවී විනාශයට පත්වන සංඝාවාසයේ යැ යි සිතිය හැකි ගරා වැටුනු බිත්තිය වුවද භික්ෂු සංඝයා කෙරෙහි ගැමියන් තුළ පැවති සිව්පසය හා බැඳුනු නිරන්තර චර්යාවන්ට දෙස් දෙයි.




ගරා වැටුනු සංඝාවාසයෙහි බිත්ති

මෑත (වසර 25ක පමණ) කාලයේ මෙම ස්ථානය බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක විසින් පරිහරනය කරන ලද බවක්ද ඒ වනවිට ඉතා හොදින් පැවති නමුත් අදවන විට ගරා වැටී ඇති ස්වභාවික ගල් පියස්ස එතුමන් සිය ආවාසය ලෙස පරිහරණය කළ බවක්ද ප්‍රදේශවාසීන් පවසයි.



ගරා වැටුනු ගල් පියස්ස

උඩරට සිංහල ගැමි බොදුනුවන් තුළ පැවති අල්පේච්ඡ ජීවණ රටාවට තවත් එක් ප්‍රබල සාක්ෂියක් වන මෙම පනන්වල ගල් ලෙනේ පන්සල අදවන විට ඇතුල්ගම උතුර ග්‍රාම නිළධාරි වසමට අයත් වෙයි.

Sunday, January 23, 2011

උඩුදෙණිය වෙල්යාය

මාරස්සන කොළඹිස්ස මාර්ගයේ බෝපිටිය රාජසිංහ ජාතික පාසැල ආසන්නයේදී දැකගත හැකි දර්ශනයකි. උඩුදෙණිය වෙල්යාය දෙසින් පෙනෙන මෙම දසුන අතිශය චමත්කාරජනකය. ඓතිහාසික වශයෙන් ද ඉතාමත් වැදගත් පෙදෙසකි. උඩරට රාජධානි සමයේ බොහෝ ජීවමාන භෞතික තොරතුරු මෙම පෙදෙසෙහි තවමත් ශේෂව පවතී.


මෙම දර්ශනය පෙනෙන ඉසව්ව ආසන්නයේ මුරපොල නම් ස්ථානය පිහිටා තිබේ. එය අතීතයේ පැවති ප්‍රධාන ආරක්ෂක කපොල්ලකි.  ඉන් ඔබ්බෙහි පැවතියේ හගුරන්කෙත හෙවත් මහනුවර පශ්චිම භාගයේ පිහිටි දිගිලිය නුවරයි.


මෙම දර්ශනයේ ‍ඈතින් පෙනෙන්නේ හන්තාන කදුවැටියෙහි නැගෙනහිර ප්‍රදේශයයි. මෙම දර්ශනය ඡායාරූප ගත කර ඇති පෙදෙසෙහි සිට වත්මන් පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මුළු භූමි ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රදේශයක් දැක ගැනීමට හැකිය.

Wednesday, January 19, 2011

හේවාවිස්ස අම්බලම

පාතහේවාහැට පැරණි පුරා විද්‍යාත්මක ස්මාරක අතර සුවිශේෂ වූ තවත් ස්මාරකයක් ලෙස හේවාවිස්ස අම්බලම හැදින්වීමට හැකිය. 




අම්බලම් විෂයෙහිලා සිදුව ඇති විදග්ධ පැහැදිලි කිරීම්වලට හසුවූ ස්මාරකයන්ට වඩා යම් වෙනස් ස්වරූපයක එකක් ලෙස මෙම අම්බලම හදුන්වා දිය හැකිය. විශේෂයෙන්ම නිසි ආරක්ෂාවක් නොමැතිව වුවද මේ වනවිටද තර්ජිතව නමුත් නිරුපද්‍රිතව ඇති‍‍ මෙම අම්බලමේ විශේෂත්වය වන්නේ එය පාතහේවාහැටදී හදුනාගත හැකි ගොඩ නගන ලද කවාකාර කුළුණු මත තැනු එකම අම්බලම වීමයි. එමෙන්ම එහි පරිවාර කණු අටක් පමණ දැවයෙන් සකස්කොට වහලයට ආධාරකයක්වන සේ නිර්මාණය කර තිබේ.


ගොඩනගන ලද කවාකාර කුළුණු මත්තෙහි දැවයෙන් කළ සැකිල්ලෙහි වහලය රදවා තිබේ. මින් පෙර දක්වන ලද ගොඩමුන්න සහ කන්දේවෙල අම්බලමෙහි මෙන් පේකඩ ලක්ෂණ මෙහි නොවූවද එම දැවයන් ද  සිත්ගන්නා පරිදි සිදු කිරීමට යම් ආකාරයකට කටයුතු කර තිබේ.  මෙය වූ කළී තත් කාලීණ සියළු නිර්මාණයන්වලටම අදාළ වන උඩරට කලා ශිල්පවලට  අනුගතව ඉදිකිරීමට ගත් උත්සහය අනුව යන්නකි. 


මෙම අම්බලම අසළ ඉදිකොට ඇති පැරණි ගල් ඒ දණ්ඩ ද පෞරාණික වටිනාකමින් යුතු එකකි. අම්බලම් මාවත් අසළම ඉදි කිරීම සිරිත විය. එනයින් බලන විට මෙම කුඩා ගල් ඒ දණ්ඩ මගින් මෙම පැරණි මාවත භාවිත කළ අයට වූ සේවය අතිමහත් වන්නට ඇත. එය පසකට වන සේ අද නව කොන්ක්‍රීට් ඒ දණ්ඩක් ද (පාලමක්) ඉදිකර ඇත. 



ඒ අසළ ඇති බෝධි වෘක්ෂය ද  අනාදිමත් කාලයක පටන් පවතින්නක් වෙයි. මෙම බෝධි වෘක්ෂයේ වර්ධනයේ පවතිත සීමාසහිත බව එහි විශේෂත්වයක් ලෙස මෙම ප්‍රදේශයේ තතු දත් අය විසින් දක්වයි.

මහනුවර සිට මාරස්සන පස්ගම මාර්ගයේ ගියවිට හේවාවිස්ස විද්‍යාලයේ ක්‍රීඩාපිටිය අසළින් ඇති මාර්ගයේ (වික්‍රමසිංහ මාවත)කිලෝ මීටර 2ක් පමණ ගිය විට මෙම අම්බලම හමුවෙයි.

Thursday, November 18, 2010

සිරිතුඩු ඇල්ල (වීඩියෝ)

කිරිමැටිය කන්දේ සිට නුගලියද්ද, බූටාවත්ත, දූල්මු‍රේ, කපුලියද්ද හරහා කිවුල්ළිද ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයට එක්වන බූටාවත්ත ඔය දූල්මුරේ ගම මැදදී මවන මනස්කාන්ත දසුනකි මෙම සිරිතුඩු ඇල්ල. 





පෙර ලිපිය බලන්න >>

Thursday, October 21, 2010

සගම රජමහ විහාරය


02 - විහාර ගෙය
         
සගම විහාර ගෙය නව විහාරයකින් සහ පැරණි විහාර‍යකින් යුක්තවේ.


පැරණි විහාරගෙය අයත්වනුයේ කුමන කාල වකවානුවකටදැයි නිශ්චිතව දැක්වීම අපහසුය. ගම්පොල යුගයේ අවසාන කාලයේ හෝ මහනුවර යුගයේ ආරම්භක අවධියේ ඉදිවන්නට ඇතැයි සිතීමට හැකිය. එයට හේතු ලෙස අපට හැගෙන පරිදි මෙහි දැව විනාශ වී ඇති ආකාරය චිත්‍රවල ස්වරූපය ආදිය හේතු සාධක ලෙස දැක්විය හැකි ය.   මහනුවර යුගයේ පුරා විද්‍යා ස්ථානයක් ලෙස සගම හදුන්වනවාට වඩා අතීතයක් එයට ඇත. නමුත් පැරණි විහාර ගෙය එහි ස්වරූපය තුළින්ම මහනුවර යුගයේ මුල් යුගයේ යැයි හැගේ.

පැරණි විහාර ගෙය.

විහාර ගෘහයේ සිවිලිම (වියන) මේවනවිට දැඩි ලෙස අබලන්ව පවතින අතර එබැවින් එහි වියන් චිත්‍රවලට පවා දැඩි ලෙස හානි වී පවතී.මෙහි ඇති චිත්‍ර කුමන කාලයකදී කවර චිත්‍ර පරම්පරාවක විසින් කළේදැයි නිවැරදි මුලාශ්‍රයක් සොයා ගැනීමට නැත. එනමුත් අපගේ පුද්ගලික හැගීම අනුව සගම චිත්‍ර පසු කාළීණ දෙගල්දොරුව වැනි දියුණු චිත්‍රකර්මවලට පදනම් වීදැයි සිතෙයි.

වියන් චිත්‍ර

පොළොන්නරු යුගයෙන් පසු ලාංකීය චිත්‍ර කලාව පිළිබදව නැවත නිශ්චිත තොරතුරු ලැබෙනුයේ මහනුවර  යුගයේ ආරම්භයත් සමගයි. මහනුවර චිත්‍ර කර්මාන්තයේ ‍කීර්ති ශ්‍රී රාජසිංහ යුගය තුළදී ඇතිවූ පුණර්ජීවණයේ  දෙගල්දොරුව සුවිශේෂි ස්ථානයකි. එම සිතුවම් උදෙසා යම් ආභාෂයක් දෙවරගම්පල සිල්වත්තැන වැනි සිත්තරුන්ට සගම චිත්‍ර තුළින් ලැබුණිදැයි විටක අපට සිතෙයි. 

සගම විහාරයේ චිත්‍ර

 



                                             
සගම චිත්‍ර ශිල්පියාගේ සිතුවම් අවම වර්ණ භාවිතයකින් (කහ, රතු, සුදු) සිදුකර ඇත. පසු කාලීන විහාර චිත්‍රයන් උදෙසා භාවිතා කරන අලුවන් කොළ, නිල් ආදී වර්ණ භාවිතා කර නැත. එමෙන්ම මෙම සිතුවම් මහනුවර යුගයේ වෙනත් විහාර කර්මාන්තයක ‍නොමැති තරම් ප්‍රාථමික ශිල්පීය ලක්ෂණ පෙන්වයි. එමෙන්ම සමකාලීන (දෙගල්දොරුව, හිදගල, සූරියගොඩ) වැනි තැන් සමග සසදනවවිට දුර්වර්ණ බව නැතිනම් ක්ෂය වී යන ආකාරයද සුවිශේෂ අවධානයකට ගත යුතුවෙයි. එමෙන්ම මෙම චිත්‍ර තුළ නිරූපිත වෙස්සන්තර ජාතකය වැනි කතා අවස්ථාවන් දෙගල්දොරුව ඈ තැන්හී එක ලෙස භාවිතා කිරීමද යම් ආභාශයක් වී දැයි විමසීමට හේතු වේ. 





උක්ත සගම චිත්‍ර තුළ ඇති “ඇලි ඇතා දන් දුන් වගයි”, “ඇලි ඇතා දන් ඉල්ළු වගයි” චිත්‍ර සහ මිනිස් ඉරියව් දෙගල්දොරුව චිත්‍ර හා සැසැදීමද සිදු කළ යුතුය. එහිදී අප ඉදිරිපත් කරන කරුණ පැහැදිලිවනු ඇත.

දෙගල්දොරුව විහාරයේ උක්ත අවස්ථාව පහත පරිදිය



දෙගල්දොරුව රජමහා විහාරස්ථානය මහනුවර ලේවැල්ල ආසන්නයේ පිහිටා ඇත. කුණ්ඩසාලය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්ය.

Tuesday, October 19, 2010

සගම රජමහ විහාරය 

01 - සගම බෝධිය

මහනුවර යුගයේ ප්‍රචලිත අධ්‍යාපන ග්‍රන්ථයක් වූ  විහාර අස්න හෙවත් නම් පොතෙහි ප්‍රථමයෙන් ඇති පූජනීය ස්ථානය සගම  යන්නයි. මෙම පුරාණ රජමහ විහාරස්ථානය අප මුලින් දක්වන ලද අතීත රුහුණු රටෙහි පිහිටි පුරාණතම විහාරස්ථානවලින් එකකැයි අපගේ හැගීමයි. හුදෙක් එහි පිහිටා ඇති බෝධි වෘක්ෂය දේවානම් පියතිස්ස යුගයෙහි රෝපණය කරන ලද අෂ්ඨඵළ බෝධි වෘක්ෂයක් බවට ඇති පිළිගැනීම මෙම විහාරස්ථානයේ ඓතිහාසික බවට ඇති   ප්‍රධාන සාක්ෂියකි. චන්දන ග්‍රාම හෙවත් සදුන්ගම මෙම අෂ්ඨඵළ බෝධි රෝපණයක් කළ බව බෝධි වංශයට අනුව සදහන්වන අතර මෙම සදුන්ගම වත්මන් සගම බව පොදු පිළිගැනීම වේ.



සගම බෝධිය වත්මන් ස්වරූපය

මෙම බෝධින් වහන්සේ වටා ඇති බෝධි ප්‍රාකාරය වත්මන් 2010 වර්ෂයේ මැද භාගයේ පුරා විද්‍යා ප්‍රතිස්ථාපනයකට ලක් කරන ලදී. එම බෝධි ප්‍රාකාරය බෝධීන් වහන්සේ වටා එක්දහස් නවසිය විසි ගණන්වලදී ඉදිකරන ලද්දක් බව එහි එක් ගලක සදහන් වේ. මෙම තහවුරු කිරීමේදී එකී බෝධි බැම්මෙහි තහවුරුකළ යුතු තැන් ගලවා  නැවත සකස් කිරීමේ කටයුතු සිදුකළ අතර බැම්ම ඇතුළත පුරවා තිබූ පස් අතර  තිබී පැරණි ගඩොල් කොටස් හමුවිය. මේ මුලින් සදහන් කළ කාලයේ (1920 ගණන්වල) නව ‍බෝධි ප්‍රාකාරය ඉදිකරනවිට පැවති පැරණි බැම්මේ ගඩොල් බව හදුනා ගැනීම අපහසු නොවේ. එම ගඩොල් පුරාණ අනුරාධපුර යුගයේ  ගඩොල්වලට බොහෝ සමානකම් සහිතව පැවති බව තහවුරු කිරීම් සිදුකළ පුරා විද්‍යා නිළධාරින්ගේ ද නිගමනය විය.


තහවුරු කිරීම් සිදුවෙමින්

 නමුත් අප දන්නා තරමින් ප්‍රමාණවත් අධ්‍යනයක් ඒ සම්බන්ධයෙන් සිදු නොවිණ.  අප විසින් නැවත බෝධි ප්‍රාකාරය තුළට දැමීමට පෙර එම ගඩොල්වල ඡායාරූප ලබා ගත් අතර ඒවා පහත දැක්වේ.



උක්ත ගඩොල්  සැබවින්ම අනුරාධපුර යුගයේ නම් මෙම බෝධින් වහන්සේ  රෝපණය කළ කාල වකවානුව පිළිබද ඇති ‍ඓතිහාසික තොරතුරු තහවුරු කිරීමට එය තවත් සාක්ෂියක් වනු ඇත. මේ පිළිබදව විද්වත් අධ්‍යනයකට වගකීම් සහිත ආයතනයක් යොමුවීම අත්‍යාවශ්‍ය බව අපගේ හැගීම වේ.

(මහනුවර සිට අම්පිටිය තලාතුඔය පසුකර බූටාවත්ත ද්විතික කණිෂ්ඨ විද්‍යාලය අසලින් බව්ලාන මාර්ගයේ ගියවිට ගොඩමුන්න ගම ආසන්නයේදී සගම රජමහා විහාරයට යන මාවත හමුවේ.)