Wednesday, August 25, 2010

පාතහේවාහැට අම්බලම්

යුරෝපයේ මධ්‍ය කාලීන යුගයේදී ශ්‍රී ලාංකීය කලාවේ හැඩහුරුව ලෝකය හමුවේ තැබීම සිදුකරන ලද්දේ ආනන්ද කුමාරස්වාමි විසින්ය. ඒ අප සිංහ‍ලයෙන් ‘මධ්‍ය කාලීන සිංහල කලා’ ලෙස හදුන්වන ග්‍රන්ථය රචනා කරමින්ය. මෙම ග්‍රන්ථය මධ්‍ය කාලීණ සිංහල කලා නමින් එච්.ඇම්. සෝමරත්න විසින් පරිවර්තනය කරන ලදුව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් සිංහල භාෂාවෙන් ප්‍රකාශනය කර ඇත. මෙම ග්‍රන්ථයේදී බෙල්ගේ කැගලු වාර්තාවෙහි හම්බන්තොට සිට මහනුවර දක්වා ඇති මාර්ග විස්තරයට අදාළ 59, 60 පිටු උපුටා දක්වයි. ඒ පහත පරිදිය.
“හම්බන්තොට සිට මහනුවර කරා වැටී ඇති ප්‍රධාන පාරක් වැල්ලවාය මැදින් ගොස් ඌවේ පතන් පසුකොට  ඇත්තලපිටිය, දඹවින්න(වැලිමඩ), පරණගම  (මැක්ඩොනල්ඩ් කොටුව) යන ගම් හරහා මතුරටට වැටී එතැන් සිට හගුරන්කෙත ,මීරුප්පේ, තලාතුඔය හා අම්පිටිය ඔස්සේ මහනුවරට සේන්දුවෙයි. ”
ආනන්ද කුමාරස්වාමි මෙම උපුටනය සටහන් තබන්නේ සිය කෘතියේ අම්බලම් පිළිබද විස්තරය අරබයාය. අප පාතහේවාහැට රාවණ කොඩිය පිළිබදව සදහන් කිරීමෙහිදී කියන ලද රාවණ රුව නෙත් යොමා සිටින්නේ මෙම බෙල් කියූ මාර්ග විස්තරයේ සදහන් දෙසටය. එහි සදහන් හගුරන්කෙත සිට අම්පිටිය අතර මාර්ග කොටස නූතන පාතහේවාහැටට අයත්වෙයි. අපගේ මෙවර සටහන පාතහේවාහැට පිහිටා ඇති අම්බලම් පිළිබද තොරතුරු සොයා යාම උදෙසා වෙයි.
ආනන්ද කුමාරස්වාමි
අම්බලම මාර්ග අසළ ඉදිකරන ලද කුඩා ගෘහයන් විශේෂයක් ලෙස හැදින්වීමට පුළුවන. වැලිවිටියේ ශ‍්‍රී සෝරත හිමියන් සිංහල ශබ්ද කෝෂයේදී අම්බලම හදුන්වන්නේ “මගියන්ට විශ‍්‍රාම ගැනීම සදහා මාර්ගාසන්නයෙහි කළ ගෙවල් ලෙසයි  මිනිසා ස්වභාවයෙන්ම සංචාරය ප‍්‍රිය කරන සත්වයෙකි. මෙම සංචාරයන් විවිධ වූ අවශ්‍යතා උදෙසා මිනිසුන් සිදුකරයි. අතීතයේ ද එසේමය. මධ්‍ය කාලීණ සිංහල කලා හි ඒබව මෙසේ දක්වා ඇත.
“ මගීහු පහත සදහන් වර්ගයන්ට අයත් වූහ: එනම් තම රජකාරිය ඉටුකිරීමට හෝ තමා භුක්තිවිදි ඉඩමෙන් ලැබෙන අය පඩුරු ඔප්පු කිරීමට මහනුවරට යන්නෝ; රට මැද යන නිළධාරිහු , මොවුහු විශාල පිරිවරක් කැටුව ගිය හෙයින් ඇතැම් විට මහ බරක් වූහ; රජුගේ පණිවිඩකාරයෝ; වෙළෙන්දන් ටික දෙනෙක්; වන්දනාකාරයෝ, විශේෂයෙන්  ශ්‍රීපාදයට හා අන් සිඬසථානවලට යන්නෝ. පිරිමි මෙන්ම ගැණු ද පයින්ම දුර ගමන් යාම බරපතල කාරියක් ලෙස නො තැකූහ. උසස් කුල ස්ත්‍රීහු ද ඇතැම් විට පිරිමි ද පල්ලැක්කිවලින් ගෙන යන ලදහ.”
මේ කොයි කාහටත් අතීතයෙහි නවාතැන වූයේ අම්බලමයි. එය එසේ වූවා පමණක් නොව ගමෙහි සියළුම පොදු කටයුතු උදෙසා මධ්‍යස්ථානය වූයේ ය. සිංහල ජන කවියක ඇති පරිදි ‘වෙළ ළග අම්බලම කාටත් පරවේනී’ ලෙසම එය සියල්ලන්ටම පොදු තැනක් විය.
අතීතයේ අම්බලම් ඉදිකරන ලද්දේ ප්‍රධාන මාර්ගය අසලින්මය .නූතන නව මාර්ග පද්ධතිය සමග යනවිට බොහෝ අම්බලම් පවතින්නේ මාර්ගයට දුරස්වය.  ලංකාවේ අතීත මාර්ග පද්ධතිය පිළිබදව අධ්‍යයනය කරන කවරකුටවුවත් අම්බලම් තූළින් ලබා ගතහැකි සහය අති මහත්ය. මේවායේ ඉදි කිරීම එකල රාජ්‍ය අනුග්‍රහය යටතේ සේම පින් කැමති අයගේ දායකත්වයෙන් සිදුවන්නට ඇත. ජනප්‍රවාදය ඔස්සේ සොයා බැලීමකදී හැරුණුකොට මේවායේ ඉදිකිරීම කවුරු විසින් සිදුකලේදැයි සදහන් නොවේ. කෙසේ නමුත් ජාතියක අතීතයත්, නිර්මාණශීලීභාවයත්, අමුත්තන් උදෙසා පැවති ගරුත්වයත්,  සමාජයේ සංවිධානාත්මක බවත් මනාව පිළිඹිබු කරන කැඩපතක් ලෙස අම්බලම දැක්වීමට පුළුවන.
පාතහේවාහැට  අම්බලම් පිළිබදව කරුණු දක්වන අපි එය සංඛ්‍යාත්මකව දැක්වීම දැන්ම සිදු නොකරමු. මන්ද අපගේ අතීත අධ්‍යයනයන් තුළදී  මෙම ස්මාරක පිළිබඳව ලබාගත් තොරතුරු පැවතුනද මෑත කරන ලද සොයා බැලීමේදී සමහර ස්මාරක මිහිමතින් කෲර ලෙස ඉවත් කර තිබීම නිසාවෙනි.


01. ගොඩමුන්න අම්බලම