Sunday, January 23, 2011

උඩුදෙණිය වෙල්යාය

මාරස්සන කොළඹිස්ස මාර්ගයේ බෝපිටිය රාජසිංහ ජාතික පාසැල ආසන්නයේදී දැකගත හැකි දර්ශනයකි. උඩුදෙණිය වෙල්යාය දෙසින් පෙනෙන මෙම දසුන අතිශය චමත්කාරජනකය. ඓතිහාසික වශයෙන් ද ඉතාමත් වැදගත් පෙදෙසකි. උඩරට රාජධානි සමයේ බොහෝ ජීවමාන භෞතික තොරතුරු මෙම පෙදෙසෙහි තවමත් ශේෂව පවතී.


මෙම දර්ශනය පෙනෙන ඉසව්ව ආසන්නයේ මුරපොල නම් ස්ථානය පිහිටා තිබේ. එය අතීතයේ පැවති ප්‍රධාන ආරක්ෂක කපොල්ලකි.  ඉන් ඔබ්බෙහි පැවතියේ හගුරන්කෙත හෙවත් මහනුවර පශ්චිම භාගයේ පිහිටි දිගිලිය නුවරයි.


මෙම දර්ශනයේ ‍ඈතින් පෙනෙන්නේ හන්තාන කදුවැටියෙහි නැගෙනහිර ප්‍රදේශයයි. මෙම දර්ශනය ඡායාරූප ගත කර ඇති පෙදෙසෙහි සිට වත්මන් පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මුළු භූමි ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රදේශයක් දැක ගැනීමට හැකිය.

Wednesday, January 19, 2011

හේවාවිස්ස අම්බලම

පාතහේවාහැට පැරණි පුරා විද්‍යාත්මක ස්මාරක අතර සුවිශේෂ වූ තවත් ස්මාරකයක් ලෙස හේවාවිස්ස අම්බලම හැදින්වීමට හැකිය. 




අම්බලම් විෂයෙහිලා සිදුව ඇති විදග්ධ පැහැදිලි කිරීම්වලට හසුවූ ස්මාරකයන්ට වඩා යම් වෙනස් ස්වරූපයක එකක් ලෙස මෙම අම්බලම හදුන්වා දිය හැකිය. විශේෂයෙන්ම නිසි ආරක්ෂාවක් නොමැතිව වුවද මේ වනවිටද තර්ජිතව නමුත් නිරුපද්‍රිතව ඇති‍‍ මෙම අම්බලමේ විශේෂත්වය වන්නේ එය පාතහේවාහැටදී හදුනාගත හැකි ගොඩ නගන ලද කවාකාර කුළුණු මත තැනු එකම අම්බලම වීමයි. එමෙන්ම එහි පරිවාර කණු අටක් පමණ දැවයෙන් සකස්කොට වහලයට ආධාරකයක්වන සේ නිර්මාණය කර තිබේ.


ගොඩනගන ලද කවාකාර කුළුණු මත්තෙහි දැවයෙන් කළ සැකිල්ලෙහි වහලය රදවා තිබේ. මින් පෙර දක්වන ලද ගොඩමුන්න සහ කන්දේවෙල අම්බලමෙහි මෙන් පේකඩ ලක්ෂණ මෙහි නොවූවද එම දැවයන් ද  සිත්ගන්නා පරිදි සිදු කිරීමට යම් ආකාරයකට කටයුතු කර තිබේ.  මෙය වූ කළී තත් කාලීණ සියළු නිර්මාණයන්වලටම අදාළ වන උඩරට කලා ශිල්පවලට  අනුගතව ඉදිකිරීමට ගත් උත්සහය අනුව යන්නකි. 


මෙම අම්බලම අසළ ඉදිකොට ඇති පැරණි ගල් ඒ දණ්ඩ ද පෞරාණික වටිනාකමින් යුතු එකකි. අම්බලම් මාවත් අසළම ඉදි කිරීම සිරිත විය. එනයින් බලන විට මෙම කුඩා ගල් ඒ දණ්ඩ මගින් මෙම පැරණි මාවත භාවිත කළ අයට වූ සේවය අතිමහත් වන්නට ඇත. එය පසකට වන සේ අද නව කොන්ක්‍රීට් ඒ දණ්ඩක් ද (පාලමක්) ඉදිකර ඇත. 



ඒ අසළ ඇති බෝධි වෘක්ෂය ද  අනාදිමත් කාලයක පටන් පවතින්නක් වෙයි. මෙම බෝධි වෘක්ෂයේ වර්ධනයේ පවතිත සීමාසහිත බව එහි විශේෂත්වයක් ලෙස මෙම ප්‍රදේශයේ තතු දත් අය විසින් දක්වයි.

මහනුවර සිට මාරස්සන පස්ගම මාර්ගයේ ගියවිට හේවාවිස්ස විද්‍යාලයේ ක්‍රීඩාපිටිය අසළින් ඇති මාර්ගයේ (වික්‍රමසිංහ මාවත)කිලෝ මීටර 2ක් පමණ ගිය විට මෙම අම්බලම හමුවෙයි.