Sunday, August 29, 2010

මහවැලි ගං දෑල



අම්පිටිය සෙමනේරිය කදු මුදුනේදී දර්ශනය වෙයි. මහනුවර වැව රවුමෙන් ගොස්  රතුබෝක්කුවෙන් හැරී අම්පිටිය මීකණුව පාරෙන් ගොස් සෙමනේරිය දේවස්ථානයේ කදු මුදුණට ගියවිට දර්ශනය වෙයි. මහවැලි නදියේ වම්පස කුන්ඩසාලය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයත් දකුණුපස මෑත ගගවටකෝරළය සහ ඈත පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයටත් අයත්ය.

ගොඩමුන්න වෙල්යාය



ගොඩමුන්න වෙල්යාය
ගොඩමුන්න වෙල්යාය - මහනුවර සිට අම්පිටිය තලාතුඔය පසුකර බූටාවත්ත ද්විතික කණිෂ්ඨ විද්‍යාලය අසලින් බව්ලාන මාර්ගයේ ගියවිට ගොඩමුන්න ගම හමුවේ. මහනුවර සිට දුර සැතපුම් 9කි. ගොඩමුන්න බණගෙය පාරේ ගියවිට මෙම ස්ථානය දර්ශනය වෙයි.
ගොඩමුන්න ඇල්ල

ගොඩමුන්න ‍ඔය කිරිමැටිය කඳු ඔස්සේ පැමිණ ගොඩමුන්න ගම හරහා ගොස් කිවුල් ළිඳ ප්‍රදේශයෙන් මහවැලි ගඟට (වික්ටෝරියා ජලාශයට) එක්වේ. ගොඩමුන්න අම්බලම පසුකර මීටර් 500 ක් දුරින් පිහිටා ඇත. වර්ෂය පුරා සාමාන්‍ය දිය පහරක් ලෙස පවතී ජුලි සිට නොවැම්බර් දක්වා වැඩි ජල ප්‍රමාණයකින් යුතුව ගලා යයි. අඩි 200ක පමණ උසකින් යුතුය. මහල් 3කි. අංශක 30ක පමණ බෑවුම් ස්වරූපයක් පෙන්වයි. මෙම ස්ථානයේම පැරණි ගල්අම්බලම ද ඇත.
ඇල්ලඔය ඇල්ල

මෙය ඇතුල්ගම, පනන්වල දෙසින්විත් හිප්පොල,නැහිනිවෙල ආසන්නයේදී තලාතුඔයට එක්වන ඇල්ලඔය නම් දිය පහරින් මැවෙන මනස්කාන්ත දසුනකි. නැරඹීම සදහා තලාතුඔය කණිෂ්ඨ විදුහල අසලින් ඇති හිප්පොල පාරෙන් කිලෝමීටර 1.5 ක් පමණ දුරට යා යුතුය. හොදින් වර්ෂාව ඇති පෙබරවාර, මාර්තු, ජූලි, නොවැම්බර්, දෙසැම්බර් කාලවල දැක ගත හැකිය.  මහල් 5-6 ප්‍රමාණයකින් යුතුය. අඩි 200 කට වැඩි උසකින් යුතුය. මෙම රූපයේ ඇති ස්වරූපය අවිනිශ්චිත ය. ඉහළ ප්‍රදේශයේ ඇතුල්ගම, හිප්පොල, කුඹුරු යාය සදහා වගා ජලයට යොදා ගන්නේ ද  මෙහි ජලයයි.

ගොඩමුන්න අම්බලම


අම්බලම් පිළිබදව වැඩිදුර කරුණු අධ්‍යයනය කරනවිට අම්බලම්  වර්ගීකරනයක්ද පවතින බව හදුනාගත හැකිය. එනම්,

            1. මැටි අම්බලම්
            2. සිටු අම්බලම්
යනුවෙන්ය.මැටි අම්බලම් බොහෝවිට භාවිතා කළේ සාමාන්‍ය ජනයා විසින් ය. සිටු අම්බලම් ප‍්‍රභූන්ගේ භාවිතය උදෙසා විය. ගුනසේන විතාන විසින් රචිත අම්බලම් සාහිත්‍ය නම් කෘතියේදී මේ ගැන අදහස් දක්වන ඔහු සදහන් කර ඇත්තේ,

            උඩරට දෝළාවෙන් ගමන් ගිය රදළ ජනයා තමන් ඔසවාගෙන යනු ලබන සේවකයින් වෙහෙස නිවා ගන්නා තෙක් රැදී සිටීමට මේ සිටු අම්බලම් යොදා ගන්නට ඇත ලෙසයි.
            අප විසින් දක්වන අම්බලම්වල භාවිතා කර ඇති ගෘහ නිර්මාණ ශිල්පීය ලක්‍ෂණ දෙස බලන විට බොහෝ ඒවා සිටු අම්බලම් ලෙස හදුනාගත හැකිය. විශාරද මතයන් අනුව එකම අම්බලම තුළ පවතින වේදිකාවන් නිසා සමාජයේ විවිධ පන්තීන්ට, කුලයන්ට එය පරිහරනය කිරීමට හැකිවන අයුරින් නිර්මානය කර ඇත.
මහනුවර තලාතුඔය මාර්ගයේ මාරස්සන පාරෙන් ගියවිට බව්ලාන ගම දෙසට හැරෙන හන්දිය හමුවේ. එම මාවතේ සැතපුමක් පමණ ගියවිට මෙම ගොඩමුන්න අම්බලම හමුවේ.

                                                       ගොඩමුන්න අම්බලම

ගොඩමුන්න අම්බලම ඇතුළු අප අධ්‍යයනයට හසු කරන සියළුම අම්බලම්හි කාලය හදුනා ගැනීමේදී මෙම ගොඩමුන්න අම්බලම වටා ඇති ජන කතාවක් වැදගත් වේ. එනම් දන්ත ධාතූන් වහන්සේ හගුරන්කෙතට රැගෙන යන අවස්ථාවේ මෙම අම්බලමේ මොහොතක් තබා වැඩමවන ලදැයි කියන පුවතයි. එක්දහස් අටසිය ගණන් වල ඉංග‍්‍රීසින් සමග සටන් පැවති සමයේ මහනුවර වැඩ විසූ දන්ත ධාතූන් වහන්සේ හඟුරන්කෙත ආරක්ෂක ස්ථානයක් වෙත වැඩම කරන  අවස්ථාවේ දී දහවල් දානය වේලාව පැමිණියෙන් එම දහවල් දානය මෙම අම්බලමේ තබා දන්ත ධාතූන් වහන්සේට පිළිගැන් වූ බවම ජන ප්‍රවාදයෙහි වෙයි. එසේ දන්ත ධාතූන් වහන්සේ  දෙවරක්ම මෙම මාර්ගය ඔස්සේ ගෙන ගොස් ඇති බව  කියයි. එනම් ඉංග‍්‍රීසි හමුදාව උඩරට ආක‍්‍රමණය කළ අවස්ථාවේ කිතුල්පේ විහාරයටසේම 1818 දී කැප්පෙටිපොල නිළමේ දළදා වහන්සේ ආරක්ෂාව සදහා හුරන්කෙතටත්  වැඩම කරවූ අවස්ථාවන්ය. එසේම මේ ගමන් මෙම ගම මැදින් ගියේ යැයි අනුමාන කළ  හැකිය. මේ අනුව ගොඩමුන්නේ අම්බලමේ ඇති පෞරාණිකත්වය හදුනාගත හැකිය. ඉංග්‍රීසින් මෙම ප්‍රදේශයේ කවුරු බැද මෙම අම්බලම මස් මඩුවක් සේ භාවිත කර ඇති බවක් ද සදහන් වෙයි. අම්බලමේ කැටයම් විනාශවීමට එක් හේතුවකු වී ඇත්තේ ඒවායේ තැවරී තිබූ ලේ ඉවත් කිරීමේ දී සිදුවූ හානීය බවද ජනප්‍රවාදයේ වෙයි.
01
02
03
                    ගොඩමුන්න අම්බලමෙහි කැටයම්
ගොඩමුන්න අම්බලම පිළිබව තවත් සදහනක් පහත දැක්වේ.
‘ 17 වන සිය වසේ  ලන්දේසින්ගේ ප‍්‍රහාරය නිසා ගින්නෙන් දැවී ගිය හඟුරන්කෙත මාළිගාවෙහි දැවමය කණු මේ අම්බලම නිර්මාණයේදී ප‍්‍රයෝජනයට ගන්නා ලදැයි කියනු ලැබේ. ’ 
(කන්ද උඩරට මහනුවර - අනුරාධ සෙනවිරත්න - 158 පිටුව)

වාස්තු විද්‍යාත්මකව බලනවිට අනෙත් ලී අම්බලම් ද මෙයට සමාන බැවින් එම අම්බලම් ද එකම කාලයක ඉදිවන්නට ඇත.
ඉන් පසු වර්ෂ 1967 සිට වර්ෂ 1968 අතර කාලයේ දී මේ අම්බලම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තහවුරු කර ඇති අතර එහි දිරා ගිය දැව කොටස් ඉවත් කොට අලුත් දැව යොදා ඇත.