Tuesday, October 19, 2010

සගම රජමහ විහාරය 

01 - සගම බෝධිය

මහනුවර යුගයේ ප්‍රචලිත අධ්‍යාපන ග්‍රන්ථයක් වූ  විහාර අස්න හෙවත් නම් පොතෙහි ප්‍රථමයෙන් ඇති පූජනීය ස්ථානය සගම  යන්නයි. මෙම පුරාණ රජමහ විහාරස්ථානය අප මුලින් දක්වන ලද අතීත රුහුණු රටෙහි පිහිටි පුරාණතම විහාරස්ථානවලින් එකකැයි අපගේ හැගීමයි. හුදෙක් එහි පිහිටා ඇති බෝධි වෘක්ෂය දේවානම් පියතිස්ස යුගයෙහි රෝපණය කරන ලද අෂ්ඨඵළ බෝධි වෘක්ෂයක් බවට ඇති පිළිගැනීම මෙම විහාරස්ථානයේ ඓතිහාසික බවට ඇති   ප්‍රධාන සාක්ෂියකි. චන්දන ග්‍රාම හෙවත් සදුන්ගම මෙම අෂ්ඨඵළ බෝධි රෝපණයක් කළ බව බෝධි වංශයට අනුව සදහන්වන අතර මෙම සදුන්ගම වත්මන් සගම බව පොදු පිළිගැනීම වේ.



සගම බෝධිය වත්මන් ස්වරූපය

මෙම බෝධින් වහන්සේ වටා ඇති බෝධි ප්‍රාකාරය වත්මන් 2010 වර්ෂයේ මැද භාගයේ පුරා විද්‍යා ප්‍රතිස්ථාපනයකට ලක් කරන ලදී. එම බෝධි ප්‍රාකාරය බෝධීන් වහන්සේ වටා එක්දහස් නවසිය විසි ගණන්වලදී ඉදිකරන ලද්දක් බව එහි එක් ගලක සදහන් වේ. මෙම තහවුරු කිරීමේදී එකී බෝධි බැම්මෙහි තහවුරුකළ යුතු තැන් ගලවා  නැවත සකස් කිරීමේ කටයුතු සිදුකළ අතර බැම්ම ඇතුළත පුරවා තිබූ පස් අතර  තිබී පැරණි ගඩොල් කොටස් හමුවිය. මේ මුලින් සදහන් කළ කාලයේ (1920 ගණන්වල) නව ‍බෝධි ප්‍රාකාරය ඉදිකරනවිට පැවති පැරණි බැම්මේ ගඩොල් බව හදුනා ගැනීම අපහසු නොවේ. එම ගඩොල් පුරාණ අනුරාධපුර යුගයේ  ගඩොල්වලට බොහෝ සමානකම් සහිතව පැවති බව තහවුරු කිරීම් සිදුකළ පුරා විද්‍යා නිළධාරින්ගේ ද නිගමනය විය.


තහවුරු කිරීම් සිදුවෙමින්

 නමුත් අප දන්නා තරමින් ප්‍රමාණවත් අධ්‍යනයක් ඒ සම්බන්ධයෙන් සිදු නොවිණ.  අප විසින් නැවත බෝධි ප්‍රාකාරය තුළට දැමීමට පෙර එම ගඩොල්වල ඡායාරූප ලබා ගත් අතර ඒවා පහත දැක්වේ.



උක්ත ගඩොල්  සැබවින්ම අනුරාධපුර යුගයේ නම් මෙම බෝධින් වහන්සේ  රෝපණය කළ කාල වකවානුව පිළිබද ඇති ‍ඓතිහාසික තොරතුරු තහවුරු කිරීමට එය තවත් සාක්ෂියක් වනු ඇත. මේ පිළිබදව විද්වත් අධ්‍යනයකට වගකීම් සහිත ආයතනයක් යොමුවීම අත්‍යාවශ්‍ය බව අපගේ හැගීම වේ.

(මහනුවර සිට අම්පිටිය තලාතුඔය පසුකර බූටාවත්ත ද්විතික කණිෂ්ඨ විද්‍යාලය අසලින් බව්ලාන මාර්ගයේ ගියවිට ගොඩමුන්න ගම ආසන්නයේදී සගම රජමහා විහාරයට යන මාවත හමුවේ.)

1 comment:

  1. නිසියාකාරව පුරාවිද්‍යාත්මක කැනීමක් කළ යුතු ස්ථානයක් බව පේනවා. ස්තුතියි මේ විදිහට හෝ අපිව දැනුවත් කලාට............

    ReplyDelete