Thursday, August 5, 2010

පාතහේවාහැට රාවණ කොඩිය


කිසියම් ජාතියක ප්‍රෞඩත්වය පෙන්වන්නා වූ කරුණු අතර අනාදිමත් කාලයක පටන් ඔවුන් භාවිතා කළා වූ සංකේත ප්‍රමුඛත්වයේ ලා ගැනේ. මේවා ජනරූප ලෙස සමාජ මානව  විද්‍යාත්මක අධ්‍යයනයන්හි දී හදුන්වයි. අතීත ලංකාව රුහුණු, පිහිටි, මායා ලෙස ත්‍රී සිංහලයට බෙදා තිබුණූ බව අපි දනිමු. මේ බෙදීම වත්මන් කටුගස්තොට නගරයේ දී මහවැලි ගට පිඟාඔය එක්වන ස්ථානය පදනම් කර ගනිමින් නිර්ණය කර තිබිණ. අතීත හේවාහැට ඒ අනුව අයත් වූයේ රුහුණු රටටය. රුහුණු රටේ පළමු කදු වළල්ල හන්තාන වැටියයි. වත්මන් පාතහේවාහැට එක් මායිමක් මෙම හන්තාන වැටිය මස්තකයෙන් වැටී තිබේ. මෙම හන්තාන වැටිය ගැමියන් හදුන්වන්නේ ඌරාගල කන්ද ලෙසයි.
ලාංකීය ශාන්ති කර්මයන්හී ප්‍රබල අවස්ථාවකි කොහොඹා කංකාරිය. මෙය පවත්වන්නේ කොහොඹා දෙවියන් උදෙසා ය. පඩුවස්දෙව් රජුට ඇති වූ දිවිදෝෂය දුරුකරනු වස් මෙම ශාන්තිකර්මය මුළින්ම සිදුකළ බව ප්‍රචලිතය. මෙය දුරුකිරීම උදෙසා මලෙන් උපන් මලය රජු ගෙන්වා යාග කිරීමට උපදෙස් දී ඇත්තේ ශක්‍ර දේව රාජයා විසින් බවත් මේ කරුණු අතර වේ. මලය රජු ගෙන්වා ගනුවස් ඌරු වෙස් ගත් රාහු අසුරේන්ද්‍රයා මලය රජුගේ උයන පාළු කළේය.  ඌරා හඹා පිරිවර සමග පැමිණි මලය රජු හන්තාන  අසලට ආ කල්හී  ඌරා ගල් ගැසින. මලය රජු සිය කඩුවෙන් එයට කෙටූ පසු සක් දෙවි පාදූර්භූතව  තමන්ගේ උපායෙහි හේතු කාරණා හෙළිකර, මලය රජුගේ පිහිටෙන් පඩුවස්දෙව් රජුගේ දිවි‍දෝසය සුවකරනුවස් කොහොඹා කංකාරිය මෙහි සිදු කළ බව ජන ප්‍රවාදයේ සේම මෑත ලිඛිත මූලාශ්‍රවලද සදහන්ය.
ඒ අනුව ගැමියන් හදුන්වන ඌරාගල කන්ද යනු එදා   ගල් ගැසුණු ඌරාගේ ශරීරය යැයි මේ පෙදෙසෙහි වර්තමානිකයින්ද මුමුණන පුවතකි. එහි හැඩය ඌරකුගේ රූප ස්වභාවයෙන් පවතී.
ඉර හද යනු දීර්‍ඝ කාලීණ පැවැත්ම පිළිබදව සංකේතයන් ය. ඉර, හද, තරු යට, යට කී රුහුණු රටේ පළමු කදු වළල්ලවන  හන්තාන නෙහොත් ඌරාගල කන්ද මස්තකයෙහි වැඩ සිටිමින් හේවාහැට සිසාරා රෝහණ රාජ්‍යයය දෙසට දෙනෙත් යොමා සිටිනා මෙම රාවණ රුව සහිත ධජය අතීතයේ හේවාහැට කොඩිය ලෙස භාවිත වී යැයි වත්මනෙහි පිළිගනී. උඩරට ඉංග්‍රීසින්ට යටත්වීමෙන් පසුව එම වකවනුවෙහි ඌවේ දිසාපතිවරයාට විල්වල විහාරයේ විහාරාධිපති විසින් ලබාදෙන ලද මෙම පැරණි රාවණා ධජය දීර්ග කාලයක් අප්‍රකටව පැවතියේය. මේ පිළිබද සොයා බලන මෙන් සද්ජනයින් කිහිපපළක් විසින්ම හපුතලේ සත්කදුරු විහාරාධිපති පූජ්‍ය නිකහැටියේ සදෝ නායක ස්වාමීන් වහන්සේගෙන් කළ  ඉල්ලීම අනුව එතුමන්ගේ සොයා බැලීමෙන් පසුව මහනුවර කෞතුකාගාරයෙහි තිබුණු එම කොඩියෙහි ඡායාරූපය අනුව සකස් කළ මෙම කොඩිය පාතහේවාහැට රාවණ කොඩිය ලෙස අද නැවත සමාජගත කර ඇත. 
පාතහේවාහැට උඩුවෙල නිම්නයේ සිට නැතිනම් හන්තානේ නැගෙනහිර බෑවුමේ සිට බලන අයකුට ඌරකුගේ ශරිර ශෝභාවෙන් යුතු මෙම කන්ද අදද පැහැදිළිව දර්ශනය වෙයි. ඒ මස්තකයෙහි දෘෂ්‍යමාන රාවණ රුව නොමැති නමුත් පැරණි රෝහණ රාජ්‍යය දෙසට සිය සුවිසල් පෞරුෂයේ අණසක පතුරන සෙයක් ඉන් ජනිත වෙයි. එබැවින් මෙවන් වූ ජීවමාන වස්තූන් යොදා කළ මෙම නිර්මාණය සුවිසල් වූ කතාවක සාරාංශයක්  දක්වතැයි අපට හැගෙයි. නැතිනම් එහි දෘශ්‍යමාන දෙයට වඩා සැගවුණු බොහෝ තොරතුරු විය හැකිය.

3 comments:

  1. රාවණා රජතුමාව මේ කොඩියට ඇතුළත් කර තිබෙන්නේ ඇයි කියන කාරණය පැහැදිලි මදි

    ReplyDelete
  2. හ්ම්...හොඳ උත්සාහයක්...දිගට ම ලියන්න...
    ජයවේවා!!!

    ReplyDelete
  3. ස්තුතියි සැමටම. හෂිතගේ ප්‍රශ්නයට තව හොයලා පිළිතුරු දෙන්නම්

    ReplyDelete