Wednesday, August 4, 2010

වගතුගට පෙර වටපිට ගැන

................මහනුවර පශ්චිම දික් භාගයෙහි හේවාහැට ප්‍රදේශයේ පිහිටි දිගිලිය නුවරට හැරෙමි. වර්ෂ 1664 රේ දී ඇති වූ මහ කැරැල්ලෙහි ප්‍රතිඵළයක් වශයෙන් නිල්ළඹේ නුවර අත්හැර යන්නට සිදුවූ  සිංහලේ මහ රජුගේ අභය භූමිය බවට පත්වූයේ මේ පුරයයි. ජනරජු මෙහි ස්වකීය වාස මන්දිරය පිහිටුවා ගත්තේ වී නමුදු , මුළු දිවයිනෙහිම මෙතරම් නිසරු භූමි භාගයක් නැති තරම්ය..............
එදා හෙළදිව - රොබර්ට් නොක්ස්
(අනුවාදය ඩේවිඩ් කරුණාරත්න)
............................................................................................
හේවාහැට මහනුවර රාජධානි සමයේදී ඉතා ප්‍රසිද්ධ වූ ප්‍රදේශයකි. එය මහනුවරින් ගිනිකොණ දෙස පිහිටා ඇත. සිංහල රජුන් දවස ප්‍රධාන ආර්ථික සංවර්ධනය ධාන්‍ය නිපදවීම විය. වී, කුරක්කන් , අමු, මෙනේරි , ඉරිගු ආදී ධාන්‍ය වර්ග බෙහෙවින් උපදවනු ලැබූ ප්‍රදේශයකි, හේවාහැට. ඒ නිසා එය එකල ඉතා වැදගත් පොහොසත් ප්‍රදේශයක් විය. උඩහේවාහැට  පහතහේවාහැට යන නමින් මේ ප්‍රදේශය කොටස් දෙකකට බෙදේ. එගොඩතිහ, මෙගොඩතිහ යන නම්ද මේ දෙකොටසට පෙරදී ව්‍යවහාර විය.
මග දිගට ජනකතා - ඩී.පී.වික්‍රමසිංහ.
............................................................................................
රොබර්ට් නොක්ස් සහ ඩී.පී.වික්‍රමසිංහයන් නූතන පාතහේවාහැට අතීත වටපිටාව දුටු හැටි උක්ත උදෘත තුළින් රූපිතය. නොක්ස් උඩරට එළිමහන් සිරකරුවකුව තමා රැදුනු වටපිටාව විචාලීය. ඩී.පී.වික්‍රමසිංහයන්  පාසැල් මුල් ගුරුවරයකුව නිදහස් මනසින් තමා රැදුනු වටපිටාව විචාලීය. නොක්ස් ස්වකීය මව් රට සංස්කෘතිය ශිෂ්ටයැයි සැම විටම සිත්හී තබා  ලාංකීය සංස්කෘතිය විචාලීය. ඩී.පී.වික්‍රමසිංහයන් තමන් අත්විදින සංස්කෘතියේ යටගියාව ජනශ්‍රැතියේ සුවද ඔස්සේ විචාලීය.රොබර්ට් නොක්ස්, එළිමහන් සිරකරුවකුව බණ්ඩාර කොස්වත්ත ග්‍රාමයේ සිට කළ සංචාරයේදී හේවාහැට දුටුවෙකි. ඔහු, හේවාහැට එන්නට ඇත්තේ වියළි කර්කශ කාලයක වන්නට ඇත. ඩී.පී.වික්‍රමසිංහයන් දීර්‍ඝ කාලයක් නේවාසිකව හේවාහැට දුටුවෙකි. මාරස්සන මයිලපිටිය ආදී විදුහලවල ගුරුවරයෙකි. ඔහු, හේවාහැට මහපොළොවෙහි වැපුරූ බිජුවට පැළවන්නට දහදිය හෙළන මිනිසුන්ගේ ධෛර්ය දුටුවෙකි. එබැවින් සියවස් හතරකට මත්තෙහි  හේවාහැට දුටු නොක්ස්ගේ වාර්තාවට වඩා අඩ සිය වසකට පෙර  ජනශ්‍රැතිය විනිවිද යමින් හේවාහැට ගැන ලියූ  වියතානන්ගේ වාර්තාව අපට සාධාරන සහ සංවේදියැයි හැගේ.
............................................................................................
අතීත හේවාහැට එගොඩතිහ සහ මෙගොඩතිහ යන දෙකොටසින් සැදුම් ලද්දේ විය. නූතන පරිපාලන පහසුව තකා එය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කිහිපයකට වෙන්ව තිබේ. එදා මෙගොඩතිහට අයත්ව තිබූ වත්මනෙහි පාතහේවාහැට නමින් පරිපාලනමය වශයෙන් හදුන්වන වර්ග කිලෝ මීටර 71.4 ක මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අතීත උරුමයන් සහ දර්ශනීය ඉසව් සොයා ඔබ වෙනුවෙන් අප පියවර තබන්නෙමු.එතුළින් පාතහේවාහැට අතීත විභූතියද, මනස්කාන්ත පරිසරය හා සබැඳි ඇසිදිසි ඉසව් පිළිබද තොරතුරුද ඔබ හමුවට ගෙන ඒමට අප වෑයම් කරන්නෙමු.

පාතහේවාහැට
සැඟවුනු සුන්දරත්වය  
එළි දැක්වීම
අපගේ අරමුණයි.

1 comment:

  1. සිංහල බ්ලොග්කරණයේ දිගු ගමනක් යාමට සුභ පැතුම්............

    ReplyDelete